Pages

Tuesday, March 15, 2011

බැස ගිය සඳට.........

පාවෙන සුසුම් වැල් එකිනෙක අමුණාලා
හදවත රිදී නැගි හැඟුමන් එක් කරලා
ලෙංගතු කමක අරුමය ගැන කවි ගොතලා
කියපන් විහඟ කියපන් සවනට කරලා

ඉකිබිඳි හිතක් ඉහිලූ දුක දන්නවද
හදවතහෙළූ සුසුමක බර දැනෙනවද
සැඟවූ කඳුළු මුතු දෙනෙතින් පෙනෙනවද
සුළඟේ විත් ගොහින් පවසන් මගෙ සඳට

මල් සුවඳක් ඇවිත් මා වට කැරකෙනවා
හිත නෑ වාවන්නෙ නුඹ සුවඳම එනවා
සුළඟට සාප තිව්වා මට දුක දැනුනා
නුඹ සුවඳත් අරන් යන්නට මම කිව්වා

නෙත් හැර ලොව බලන්නට දැන් බයක් හිතේ
නොපෙනෙන වෙසක් ගෙන සැඟවී යන්න හිතේ
නුඹ නැති හෙටක සැනසුම කෝ කොහෙද හිතේ
මගෙ සඳ දන්නවද උහුලන බරක් හිතේ

රිදවීම.........

සීතල මල් තුහින
සැඟව මල් පියළි තුල
ඔච්චම් කරපු හැටි
සමණළුන් එක්ක හාදව

ඉකිබින්ද මදනළ
දැවටෙමින් ළඟ ළඟම
ඇනුම් පද කීව හැටි
සුසුම් වැල් සමග හාදව

අකීකරු බිඟු පහස
ආනන්දයෙන් මත්ව
මකරන්ද හොරාගත් හැටි
නොදන්වා මලටද....