පාළුයි වගේ දැනෙනවා හිත හරි තනියෙන්
නෑ දැක ගත්තෙ ඔය හිනහව ගොඩ කලකින්
මල් සුවඳක් වගේ ඇවිදින් හරි විගහින්
දවසක් ඉඳල යනවද මෙහෙ අම්මෙ ඉතින්
හිත රිදෙනවා එමටයි මෙහෙ ඉන්නකොට
ළඟ හිටියනම් නුඹ කොච්චර හොඳද මට
වාවන්නට බැරුව හෙළුමට කඳුළු කැට
අපමණ පිරෙයි අම්මේ නෙත් අද්දරට
දවසම පොතයි කොම්පියුටරයයි විතරයි
දුක සැප කියන්නෙත් මං හුළඟට විතරයි
හවසට කාමරේ මළ පාළුව විතරයි
මගෙ ලොව එකම සම්පත ඇති නුඹ විතරයි
මහමෙර තරම් දුක් අරගෙන කලින් කල
වදනක් නොබැන මුවගින් පෙම් පවන් සල
අන් සැප ගැන සිතා තම සැප සිතින් හළ
නුඹ සුරඟනයි මගෙ සිහිනය එළිය කළ
දවසක පැළඳ ආවත් මං ඔටුනු දරා
මොකටද අම්මෙ මේ පළ නැති දිවිය දරා
සසරම දුක් කරන අරුමැති දිවිය කරා
ආයෙත් නොයෙන්නට යන්නද සිතින් හැරා
No comments:
Post a Comment