අද පෞද්ගලික බස් රථ සේවකයින්ගේ වැඩවර්ජනයකි. නමුත් මා මෙහි සටහන් තබන්නේ ඒ ගැන නොව බොහෝ දුක් මහන්සියෙන් ලංගම බස් රථයකට ගොඩවී සෙනග ගොඩෙහි තෙරපෙමින් අහිංසක තරුණියන් හට කරදර කළ පව්කාරයෙකු ගැනයි. මා දෙහිවල හංදියට පැමිණෙන විට පෙ.ව.11 වන්නට ඇත. පෞද්ගලික බස් රථ සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන්බස් රථයකට නැග ගන්නට බොහෝ වේලාවක් බලා සිටින්නට සිදුවිය. අවසන පිටකොටුව බලා ගමන් කරන ලංගම බසරථයකට නැග ගන්නටත් එහි අසුනක වාඩි වීමටත් මට හැකි විය. වැඩි දුරක් යන්නට කලින් සෙනග අතරෙහි තෙරපෙමින් බොහෝ අපහසුවෙන් ගමන් කළ ආච්චි අම්මා කෙනෙකුට අසුන පිරි නැමූ මම බෑගයද කරේ දමාගෙන මදක් අපහසුවෙන් ගමන් සිටගෙන සිටියෙමි. දැඩි හිරු රෂ්මිය නිසාත් බසයේ සෙනග අධික නිසාත් බසයේ සිටි සැම දෙනා සිටියේ දැඩි අපහසුවකිනි. මේ සියලු අපහසුතා අතර එක් තරුණයෙකු කඩා බිඳගෙන සෙනග තෙරපගෙන මමත් තවත් තරුණියකුත් අතරට පැමි නතර විණි. එනපොට එතරම් ගුණ නොවූ හෙයින් මා මදක් ඉවතට වීමි. කාරුණික තරුණයෙකු මට ඉඩ දී ඉවතට විය. එහෙත් මට ඔබ්බෙන් සිටි අසරණිය අසලට වන් අර පව්කාරයා ඇයට කරදර කළ ආකාරය අසල සිටි සැවොම දුටු දසුනකි. අප්‍රසන්නතාවයත් කළකිරීමත් පිරුන සිතින් එදෙස බලා දුක්වනවා හැර දෙයක් කිරීමට බසයේ සිටි කාටත් නොහැකි විය. ලැජ්ජාව නිසා හෝ භය නිසා හෝ ඇය සියල්ල ඉවසා සිට බැස ගියාය. මා සඳහන් කළ වසළයා එයින් නොනැවතී තවත් මුස්ලිම් තරුණියක් අසලට ගොස් පෙනි පෙනී ඇයටද කරදර කරන්නට පටන් ගත්තේ කවුරුත් ඔහුට අවහිරයක් නොවන බව සක්සුදක් සේ දත් සේය.බසයෙන් බසින්නට පෙර ඔහු හැඳසිටි ටී ෂර්ටයේ පසුපස ලියා තිබූ අකුරු පෙළ දුටු මාගේ කළකිරීම දෙගුණ තෙගුණ විය.
Nautical Engineering
Ocean University
Sri Lanka
එහි සටහන් වූයේ එයයි.
සහෝදර වරුනි ඔබලා සියලු දෙනාම මෙසේ නැත. එහෙත් අතලොස්සක් ඉතා පහත් ලෙස මෙසේ හැසිරීම රටේම අවාසනාවකි. බසයක කෝච්චියක ගමන් කරනතරුණියකට කරදර කර ඔබ ලබනා ආස්වාදය කුමක් දැයිපුදුමයකි. ඔබට පෙම්වතියක් නැතිවිය හැක, එහෙත් කවදා හෝ ඔබ පෙම්වතියක් ලබනු ඇත. ඉතින් ඔබ කොහොමද ඇයට අවංකව ප්‍රේම කරන්නෙ? ඔබ කොහොමද ඇයව වසළයින්ගෙන් රැක ගන්නේ ? නුඹ කෙලෙසද නුඹ මවගේ සහෝදරියගේ මුහුණ බලන්නේ? මල් වගේ ලස්සන සුන්දරියන් දැක සතුටු වන්න. රාගය අවුලවාගෙන සංසාරයටම පව් පුරවගන්න එපා. අඩුම තරමින් තමන් හිත පිරිසිදුව තියාගන්න උත්සාහ ගන්න. එක් සුන්දර ගැහැණියක් ඔබගේ ජීවිතය හැම රසයකින්ම සරසණු ඇත. එතෙක් තවත් නොකිළිටි මලක් තැලීමට උත්සහ නොගන්න. ඔබ කවදා හෝ දියණියක රකිනපියෙකු වන බව සිතන්න.
දයාබර සහෝදරියනි මෙවන් ස්ථාන වලදී ඔබට සිදුවන අතවර හමුවේ නිහඞව නොසිටින්න.කාගෙන් හෝ පිහිටක් ලබන්නට නොව, තමාගේ සිරුර රැකගැනීමට සටන් කරන්න. දැන් වීරයින් නිදිය. එනිසා තමා තමන් වෙනුවෙන් වත් මොවුන් සමගින්සටන් කරන්න. නුඹ සිරුර නුඹගේය..... එය පව්කාර වසළයින්ගේ සා පවස නිවන පිං ළිඳක් නොවන බව ලොවටම ඒත්තු ගන්වන්න......