Pages

Tuesday, March 15, 2011

බැස ගිය සඳට.........

පාවෙන සුසුම් වැල් එකිනෙක අමුණාලා
හදවත රිදී නැගි හැඟුමන් එක් කරලා
ලෙංගතු කමක අරුමය ගැන කවි ගොතලා
කියපන් විහඟ කියපන් සවනට කරලා

ඉකිබිඳි හිතක් ඉහිලූ දුක දන්නවද
හදවතහෙළූ සුසුමක බර දැනෙනවද
සැඟවූ කඳුළු මුතු දෙනෙතින් පෙනෙනවද
සුළඟේ විත් ගොහින් පවසන් මගෙ සඳට

මල් සුවඳක් ඇවිත් මා වට කැරකෙනවා
හිත නෑ වාවන්නෙ නුඹ සුවඳම එනවා
සුළඟට සාප තිව්වා මට දුක දැනුනා
නුඹ සුවඳත් අරන් යන්නට මම කිව්වා

නෙත් හැර ලොව බලන්නට දැන් බයක් හිතේ
නොපෙනෙන වෙසක් ගෙන සැඟවී යන්න හිතේ
නුඹ නැති හෙටක සැනසුම කෝ කොහෙද හිතේ
මගෙ සඳ දන්නවද උහුලන බරක් හිතේ

රිදවීම.........

සීතල මල් තුහින
සැඟව මල් පියළි තුල
ඔච්චම් කරපු හැටි
සමණළුන් එක්ක හාදව

ඉකිබින්ද මදනළ
දැවටෙමින් ළඟ ළඟම
ඇනුම් පද කීව හැටි
සුසුම් වැල් සමග හාදව

අකීකරු බිඟු පහස
ආනන්දයෙන් මත්ව
මකරන්ද හොරාගත් හැටි
නොදන්වා මලටද....

Saturday, February 19, 2011

මට කියාදෙන්න මේ කඳුළැලි මගෙ විතරක්මද.....?

මුතු කඳුළු බිංදු ඇමිණූවත් නෙත් අද්දර හිඳ
මං පැළඳුවාද මොහොතක් වත් එය නුඹ ගෙල වට
නුඹ ඇවිත් ගියත් හදිස්සියෙන් සිත් මල් යායට
මං බලන් හිටියා තව සැරයක් ඒයයි අද හෙට

දුක වුනත් කිමද දී යන්නට නුඹ එනවානම්
ඉහිරුණත් මොකද කැඩී බිඳී ඒ මගෙ හිත නම්
මද පවන වගේ යළි මගෙ ලෝකෙට කර එබිකම්
නුඹ ඇවිත් යන්න යළි නාවත් දුක විඳ ගන්නම්

නෑ නින්ද විරසකයි මා එක්කල නිදි දෙව්දුව
මහමෙරක් බරයි ගැස්සෙන හිත් මඩලට සෙනෙහස
මා හඞා වැළපුනත් කවුරුත් නැති තනි යාමෙක
මට කියාදෙන්න මේ කඳුළැලි මගෙ විතරක්මද

Wednesday, January 26, 2011

නුඹ දුටුවනම් එක් වරක්වත් ....

සීරුවට කොපුලත ගලා ගිය
පුංචි උණුහුම් කඳුළු බිඳුවක්
නුඹ නමින් නෙත් අගින් ගිලිහුන
නුඹ දුටුවනම් එක් වරක්වත්

සෙනෙහෙ මකරන්දය පුරාගෙන
හදෙහි නොපිපුන කුසුම මැලවුන
හිරුට හිනැහී සඳුට හැඞු හැටි
නුඹ දුටුවනම් එක් වරක්වත්

සඳු ළඟින් හිඳ ලොවට හිනැහුන
පුංචි තරුවක අරුම පබසිළු
සුමුදු සඳකැන් දහර අතරින්
නුඹ දුටුවනම් එක් වරක්වත්

Thursday, January 20, 2011

අකීකරු සුළං පොද...

හීනියට හමාගිය
මදනළ රැගෙන හිරිකඩ
හිරිවැටුන මගෙ කොපුල්
සිප හමා ගිය අරුම....

ඉබාගාතේ ඇදෙන
සිතුම් පොදි තුරුළු කර
අකීකරු හිත් කොණට
නුඹ පැමිණි අපූරුව....

Thursday, January 6, 2011

විභාගෙ දවස් වල 2

පාළුයි වගේ දැනෙනවා හිත හරි තනියෙන්
නෑ දැක ගත්තෙ ඔය හිනහව ගොඩ කලකින්
මල් සුවඳක් වගේ ඇවිදින් හරි විගහින්
දවසක් ඉඳල යනවද මෙහෙ අම්මෙ ඉතින්

හිත රිදෙනවා එමටයි මෙහෙ ඉන්නකොට
ළඟ හිටියනම් නුඹ කොච්චර හොඳද මට
වාවන්නට බැරුව හෙළුමට කඳුළු කැට
අපමණ පිරෙයි අම්මේ නෙත් අද්දරට

දවසම පොතයි කොම්පියුටරයයි විතරයි
දුක සැප කියන්නෙත් මං හුළඟට විතරයි
හවසට කාමරේ මළ පාළුව විතරයි
මගෙ ලොව එකම සම්පත ඇති නුඹ විතරයි

මහමෙර තරම් දුක් අරගෙන කලින් කල
වදනක් නොබැන මුවගින් පෙම් පවන් සල
අන් සැප ගැන සිතා තම සැප සිතින් හළ
නුඹ සුරඟනයි මගෙ සිහිනය එළිය කළ

දවසක පැළඳ ආවත් මං ඔටුනු දරා
මොකටද අම්මෙ මේ පළ නැති දිවිය දරා
සසරම දුක් කරන අරුමැති දිවිය කරා
ආයෙත් නොයෙන්නට යන්නද සිතින් හැරා

Tuesday, October 26, 2010

විභාගෙ දවස් වල...

අළුයම මහ උදේ පාන්දර
ඉකුත් වූවා පමණි හෝරා කිහිපයක්
අහෝ සුපුරුදු නාදය
කොහෝ කොහෝ කොහෝ....!!!
තවම නුඹ සොඳුරි මුණ නොගැසීද????

අනේ උඹෙ කෙහෙල්මල් ආදරේ....
අපේ විභාගෙට තව ටික දොහයි!